Friday, March 27, 2015

කටාර් වලින් නිත්‍ය ලෙසම පිටවිමට පෙර......


කටාර් වලින් නිත්‍ය ලෙසම පිටවන්නේ නම් යැමට පෙර විසා අවලංගු කරගෙන් යායුතුය. විසා අවලංගු කිරිමට පෙර මෙහි ඇති සියලු ගිවිසුම් අවලංගු කරගත යුතුවේ.
එසේ ප්‍රධාන වශයෙන් අවලංගු කරගත යුතු ඒවා නම් සේවා ගිවිසුම(Employment contract), බැංකු ගිණුමි, ණය පත්, නිවාස කුලී ගිවිසුම්, ජල හා විදුලි ගිවිසුම්ය.

සේවා ගිවිසුම(Employment contract)

සේවා ගිවිසුමේ එය අවලංගු කිරිමට දැනුම් දිය යුතු කාල සිමාව සදහන් වෙනවා. සාමානයෙන් එය මාසයකට  හෝ දෙකකට පෙර විය හැකියි.
එයට අනුකුලව සේවය අවසන් කිරිම සදහා, අස්විමේ ලිපිය තම සේවායෝජකයට ලබාදිය යුතු වෙනවා.එයින් පසුව ඔවුන් අපෙන් අයවන්නට තිබෙන් මුදලක් වේනම් එය අඩු කර අපට ලැබිය යුතු අවසාන ගෙවිම ගෙවිමට කටයුතු කරයි.එමෙන්ම සේවාකාලය අවසානයේ ලැබිය යුතු දිමනාවද ලාබ ගත යුතුය. කාටාර් කම්කරු නිතියට අනුව නම් එය  අපගේ අවසාන මුලික වැටුපෙන් හතරෙන් තුනක්, වැඩ කල සැම වර්ෂයකටම ගෙවිය යුතුය.

එය වඩාත් පැහැදිලි කරගැනිමට පහත උදාහරණය සලකන්න:
අවසාන මුලික වැටුව = 5,000.00
සේවා කාලය = වර්ෂ 5
දිමනාව = 5000.00*(3/4)*5=18,750.00

එමෙන්ම අවසානයට, එනම් පිටත්විමට දින 2ට පමණ පෙර සේවායෝජකයා විසින් විසා අවලංගුකිරිම සිදු කරනු ලබයි. විසා අවලංගු කිරිමෙන් පසුව සාමානයෙන් රට තුල දින 10ක් පමණ රැදි සිටිමට අවසර ලැබෙන අතර අයින් පසුව රැදි සිටින සැම දිනකටම රියාල් 10ක දඩ මුදලකට යටත් විමට සිදුවේ.
තවද වැටුප සෘජුවම බැංකු ගිණුමට බැර වන්නේ නම්, එය අත් හිටුවා අවසාන ගෙවිම මුදලින් හෝ මුදල් ලබාගත හැකි පර්දි චෙක් පතකින් ගෙවන ලෙස ඉල්ලා සිටිය යුතුවන්නේ බැංකු ගිණුම්ද පිටවිමට පෙර අවලංගු කල යුතු නිසාවෙනි.

බැංකු ගිණුමි

බැංකු ගිණුමි අවලංගු කිරිමටනම් අදාල බැංකුව වෙතම යායුතුය.බැංකු කාඩ්පත හා ජංගම ගිණුමක් නම් ඉතිරි චෙක්පත්ද රැගෙන යාම සුදුසු වුවත් අනිවාර්ය නොවේ. එමෙන්ම ණය ලබාගෙන ඇතිනම් ඒවාද ගෙවා නිම කල යුතුය. සාමානයෙන් දින1-2 ඇතුලතදි ගිණුම අවලංගුවේ. බැංකු ගිණුම් හා ණය කාඩ්පත්  අවලංගු කල බවට බැංකුවෙන් ලිපියක් ඔබගේ සේවායොජකයා ඉල්ලා සිටිය හැක. අවලංගු කිරිමෙන් පසුව අවශ්‍යනම් එය සදහන් කර බැංකුවෙන් ලිපියක් ලබා ගත හැකිවන අතර ඒ සදහා රියාල් 20ක ගෙවිමක් කල යුතුය.

ණය පත්

ණයකාඩ් පත් අවලංගු කරගැනිම දුරකථන බැංකු පහසුකම භාවිතා කරමින් කල හැක. උපදෙස් ලබාදුන් මොහොතේ පටන් ණය කාඩ් පත් අවලංගුවේ. නමුත් දින 45/30ට පෙර ණයකාඩ් පත් අවලංගු කල යුතු බව සමහරු පවසයි.
මෙයට හේතුව වන්නේ සමහර බැංකු විසින් පිටවිමට කෙටි කාලයක් තිබියදි කෙඩිට් කාඩි පත් අවලංගු කරන ලෙස ඉල්ලු විට , බැංකු ගිණුම් හා ණය කාඩ්පත්  අවලංගු කල බවට සේවායෝජකයා විසින් ඉල්ලු  ලිපිය ලබාදිමට නම් බැංකුව ඇපමුදලක් තබන ලෙස ඉල්ලා සිටිම නිසායි. එයට හේතුව වන්නේ ගනුදෙනුකරුවා විසින් ක්‍රෙඩිට් කාඩි භාවිතාකර මැතකදි කරන ලද ගනුදෙණු බැංකුව වෙත වාර්ථා විමට යම් කාලයක් ගතවිම විය හැක.

නිවාස කුලී ගිවිසුම්

නිවෙස් හිම්යා සමග ඇති ගිවිසුම අවසන් කර ඔහුට ලබාදි ඇති චෙක්පත් නැවත ලබාගත යුතුය.එසේ කිරිමට නම් ඔබේ නමට ඇති කල හා විදුලි සම්බන්ධතා විසන්ධි කරවා ගත යුතුය. සමහර නිවෙස් හිමියන් නිවසට සිදුවි ඇති යම් අලාභයක් වේනම් එයට මුදල් අය කිර ගනි.

ජල හා විදුලි සම්බන්ධතාවය විසන්ධි කරගැනිම

ජල හා විදුලි සම්බන්ධතාවය අවලංගු කල යුත්තේ ඔබ රටින් බැහැරවිමට දින2-3 පමණ පෙරයි. ඒ මක් නිසාදයත් අවලංගු කල පසු ඔබට තවදුරටත් එම පහසුකම් භුක්තිවිදිමට ඉඩ නොලැබෙන නිසාය.
මේ සදහා මෙම අයදුම්පත පුරවා ඔබගේ හැදුනුම්පතේ ජායාපිටපතක්, සම්බන්ධතාවය ලබාගැනිමේදි තැබු තැම්පතුවේ ජායාපිටපතක් සමග ඔබගේ ප්‍රදේශය අයත් ශඛාවට ගොස් භාරදිය යුතුය. උදාහරණයක් ලෙස ඔබ Old Al Ghanim ප්‍රදේශයේ පදිංචි නම් ඔබ යා යුත්තේ Musharib ශාඛාවටයි. ඒ සමගම ජල හා විදුලි මනුකියවිම් වල ජායාරුපයක් රැගෙන යා යුතුය.
ඉන් අනතුරුව ඔවුන් ගෙවිය යුතු හිග මුදල දැනුම්දෙන අතර එය ණයකාඩ් පතක් හෝ බැංකු කාඩ්පතක් බගින් ගෙවිය යුතුය.මේවන විටත් ඔබ එම කාඩ්පත් අවලංගුකර තිබුනේ නම් යහලුවෙකුගේ ණයකාඩ් පතක් හෝ බැංකු කාඩ්පතක් මගින් එම මුදල ගෙවිය හැකිය. ඉන් පසුව ඔබට ඔබේ තැම්පතු මුදල චෙක්පතක් මගින් ලැබෙනු ඇත.

දුරකථන හා අන්තර්ජාල සම්බන්ධතාවය විසන්ධි කරගැනිම

දුරකථන හා අන්තර්ජාල සම්බන්ධතාවය අවලංගු කල යුත්තේ ඔබ රටින් බැහැරවිමට පැය 24ට පමණ පෙරයි. ඒ මක් නිසාදයත් අවලංගු කල පසු ඔබට තවදුරටත් එම පහසුකම් භුක්තිවිදිමට ඉඩ නොලැබෙන නිසාය. ඔබ අදාල අයදුම්පත පුරවා භාරදුන් මොහොතේම ඔවුන් සම්බන්ධතාවය විසන්ධි කරනු ඇත.

නැවත පැමිණිම

එසේ පිටවිමෙන් පසු ඔබට නැවත ඔනැම අවස්ථාවක නැවතඔබ පෙර සේවය කල සමාගම වෙතම පැමිණිමට කිසිදු නිතිමය බාධාවක් නැත, නමුත් පිටවි වසර දෙකක් යාමට පෙර ඔබ වෙනත් සමාගමකට නැවත පැමිණෙන්නේ නම්, කලින් සේවය කල සමාගමෙන් ඒ සදහා විරුද්ධත්වයක් නැති බවට ලිපියක් ලබාගත යුතුය.එහෙත් වසරදෙක ඉකුත් විමෙන් පසුව වෙනත් සමාගමකට පැමිණිමට උවද එසේ ලිපියක් අවශ්‍ය නැත.



මේ සම්බන්ධ තවත් ලිපියක් - http://qatarvisitor.blogspot.com/2006/10/ramadan-boom.html

Tuesday, July 17, 2012

ස්ථාවර තැමිපතු ඇපයට තබා ණය ගැනිම වාසිදායකද?


බැංකුවලින් ණය ගන්න එක දැන් නම් ටිකක් අඩුවෙලා. ඒ ණය සදහා අය කරන අධික පොලි අනුපාතිකයන් නිසා. පෞද්ගලික ණය සදහා නම් එය දල වශයෙන් 16.5%-17.5% පමණ අගයක් වෙනවා.නමුත් කවුරු හරි තමන්ගේ දැනට ඇති ස්ථිර තැම්පතු ඇපයට තියලා ණයක් ගන්නවා නම්  පොලිය වෙන්නේ එම ස්ථිර තැම්පතුවේ පොලිය ට වඩ තවත් 2.5% ක අගයක්.එය දල වශයෙන් 11.5% (9%+2.5%) පමණ අගයක් වෙනවා.
කාට හරි ගැටලුවක් මතුවෙන්න පුලුවන් ඇයි අපි ස්ථිර තැම්පතු ඇපයට තියලා ණය ගන්නේ, ඒක අපිට අවාසි නේද කියලා.මොකද ණය වල පොලි අනුපාතිකය ස්ථාවර තැම්පතුවට ලැබෙන පොලියට වඩා වැඩි නිසා.

මෙතනදි මම කතාකරන්නේ ස්ථිර තැම්පතු ඇපයට තියලා ණය ගැනිම පිලිබදවයි.

සමහරෙකුට මුදල් අවශ්‍යතාවයක් උනාම කරන්නේ බැංකුවට ගිහින්  තමන්ගේ ස්ථිර තැම්පතුවේ තියෙන මුදල් කරල ලබාගන්න එක.තැම්පතුව කල් පිරෙන්න කලින් ආපසු ලබා ගත්තාම අපිට වෙන අවාසිය තමයි, එම තැම්පතුව වෙනුවෙන් ලැබිය යුතු පොලි මුදලට වඩා අඩු පොලි මුදලක් ලැබිම. තැම්පතුව දමා ඇත්තේ කල් පිරුනු පසු පොලිය බැර වන ලෙසට නම්, කල් පිරිමට පෙර ගැනිමේදි ගෙවන්නේ සාමාන්‍ය පොලි අනුපාතයටයි.උදාහරණයක් ලෙස 9%ක පොළියක් ස්ථිර තැම්පතුවට ලැබුණද කල්පිරිමට කලින් ලැබෙන්නේ 5%ක පොළියක්ය.එහිදි බැලු බැල්මටම 4%ක අලාභයක් සිදුවන බව පෙනේ.
ස්ථිර තැම්පතුවක් ඇති අයෙකුට ණයක් ගැනිමට අවශ්‍යවුව හොත් ඔහුට එය ලබාගත හැකි ක්‍රම දෙකක් තිබෙනවා.
1.ස්ථිර තැම්පතුව ඇපයට තබා ණයක් ගැනිම
2.ස්ථිර තැම්පතුව මුදල් කිරිම
දැන් මෙම ක්‍රම දෙක වෙන වෙනම උදාහරණ සහිතව සලකා බලමු


2012 පෙබරවාරි 12 දින ඇරඹු රු. 500,000.00 ක ස්ථාවර තැම්පතුවක් ඇති අයෙකුට එම වසරේම ජුනි මස 12 දින (මාස 4ට පසු) 450,000.00ක මුදලක් අවශ්‍යවේ.

බැංවේ පොලි අනුපාතිකයන් පහත පරිදි වේ.
ස්ථිරි තැම්පතුව සදහා පොළිය (කල් පිරිමේදි )                      = 9%
ස්ථිරි තැම්පතුව සදහා පොළිය (කල් පිරිමට පෙර ගැනිමේදි ) = 5%
ස්ථිර තැම්පතුව ඇපයට තබා ලබා ගන්න ණය සදහා පොළිය(e.g-NSB Easy Card)= ස්ථිරි තැම්පතුව සදහා පොළිය  +2.5%= 9%+2.5%  = 11.5%

1.ස්ථිර තැම්පතුව ඇපයට තබා ණයක් ගෙන කල්පිරුනු පසු එක මුදල් කර ණය ගෙවිම


අවාසි : ණය පොළිය ගෙවිමට සිදුවිම
වාසි : ස්ථිර තැම්පතුව එලෙසම පැවතිම

ස්ථාවට තැම්පතුවේ වටිනාකම =500,000.00
ලබාගත හැකි ණය මුදල          = 450,000.00 (සාමාන‍යෙන් තැම්පතුවේ වටිනාකමින්  90%ක්)


පොලි ගෙවිමට සිදුවන කාලය =  මාස 8 (12-4)

මසකට පොලිය =  450,000.00 * 11.5% /12 = 4,312.50

ගෙවිමට සිදුව මුලු පොළිය = 34,500.00
පොලිය ගණනය කරන්නේ හිනවන ශේෂ කරමයට නම් ගෙවිමට සිදුවන මුලු පොලිය මිටත් වඩා අඩුවේ.

2.ස්ථිර තැම්පතුව මුදල් කිරිම


අවාසි : ස්ථිර තැම්පතුව අහිමි විම
         ගතවු කාලය සදහා (මාස 4) ස්ථිර තැම්පතුවට ලැබෙන වැඩි පොලිය වෙනුවට සාමාන්‍ය පොළිය ලැබිම.

වාසි : ණය පොලිය ගෙවිමට සිදු නොවිම
ගතවු කාලය =  මාස 4

කල් පිරිමෙන් පසුව ලැබෙන පොළිය= 500,000.00*9% = 45,000.00
ස්ථිර තැම්පතුව ඇවරකිරිමේදි ලැබෙන පොළිය= (500,000.00*5% /12 )*4 = 8333.33
අලාභය = 36,667.67 (45,000.00-8333.33)


2013 පෙබරවාරි 12 කල් පිරිමට ඇති තැම්පතුවක් ඉට පෙර ඇවරකිරිමෙන් අනිවාර්යෙන් සිදුවන්නේ අලාභයකි.ඒ ඉදිරි මස ගණනාවක් සදහා ලැබිමට ඇති පොළිය අහිමිවිම නිසාවෙනි.

නමුත් ඉහත පලමු ක්‍රමය, එනම් ස්ථිර තැම්පතුව මුදල් නොකොට ඒ ඇපයට තබා ණයක් ගැනිම තුලින් සිදුවන අලාභ අවම කර ගත හැකිවේ.එසේ වන්නේ එහිදි ස්ථාවර තැම්පතුව කල් පිරෙන විට ලැබෙන පොළිය අහිමි නොවන නිසාවෙනි.එහෙත් පලමුව එලඹෙන කල්පිරෙන දිනයේදිම තැම්පතුව ඇවරකර ණය පියවුයේ නැතිනම් එය ඔහුට අවාසිදායකය.

පලමු ක්‍රමයේදි ලැබෙන ශුද්ධ ලාභය = 36,667.67-34,500.00 =2166.67


ඉහත සැලකුයේ ආරම්භ කල දිනය හා ණය ලබා ගන්න දිනය අතර මාස 4ක පරතරයක් ඇති අවස්ථාවක්ය. පහත දැක්වෙන්නේ හා නිරුපනය කර ඇත්තේ අනෙකුත් සියලු සාධක නියතව තිබියදි, එම පරතරය  1 සිය 12 දක්වා විචලනය කිරිමේදි ලැබුණු  ශුද්ධ ලාබයයි.

පරතරය(මාස)  ශුද්ධ ලාබය

1     -4521
2     -2291
3     -62
4     2167
5     4396
6     6625
7     8854
8     11083
9     13313
10   15542
11   17771
12   20000


එයින් පැහැදිලි වන්නේ ස්ථාවර තැම්පතුව ආරම්භකර/කල්පිරි මාස 4ට වඩා ගතවි ඇතිනම් පමණක් එය ඇපයට තබා ණයක් ගෙන නැවත කල්පිරුණ් පසු ණය එය ඇවරකර පියවිම වඩා වාසි සහගත බවයි.එම කාලය මාස 4ට වඩා අඩු වනවිට ණය ලබා නොගෙන ස්ථිර තැම්පතුව මුදල් කර සිය අවශ්‍යතාවට ඉටුකර ගැනිම වාසිසහගත වේ.

සටහන:ඉහත ගණනයන්හිදි රුපියලේ අගයහි වෙනස්විම සැලකිල්ලටගෙන නැති බව සලකන්න.

Wednesday, April 25, 2012

කුඩම්මාගේ සැලකිලි ලබන විදෙස්ගත සේවා නියුක්තිකයෝ

ශ්‍රි ලංකාවට විදේශ විනිමය ලැබෙන ප්‍රධානතම මාධ්‍ය වන්නේ මිලියන 1.8ක් පමණ වන  විදෙස්ගත සේවා නියුක්තිකයන්ය.  ඔවුන් විසින් මෙරටට එවු මුදල් ප්‍රමාණය  ඇමරිකානු ඩොලර් බිලියන වලින්, 2008 වසරේදි  2.8ක් ද, 2009 වසරේදි 3.3 ක්ද වු අතර එය 2010දි 3.8ක් වැනි අගයක් විය. 2012 වසරේදි ඇමරිකානු ඩොලර් බිලියන 5.0ක් වැනි ඉහල අගයක් ගත් එය 2016දි ඇමරිකානු ඩොලර් බිලියන  7.0ක් වන බවට ගණන් බලා ඇත.දල වශයෙන් ගත්කල එය දල දේශිය නිශ්පාදිතයෙන් 7% හා අපනයන ආදායමෙන් 36%කි.
වර්තමාන රජයද  විදෙස්ගත සේවා නියුක්තිකයන්ගේ සුභසාධනය සදහා යම්යම් ක්‍රියාමාර්ග ගෙන ඇත, එහෙත් ඒවා ඔවුන් මෙරටට කරන්නාවු සේවය සලකාබලන විට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව කිව යුතුය.   විදෙස්ගත සේවා නියුක්තිකයන්ගෙන් වන  මෙහෙය නිසාවෙන් ඔවුන්ට රජය මගින් විවිධ ආකාරයේ වරප්‍රසාද ලබාදි තිබිණි. එහෙත් ක්‍රමක්‍රමයෙන් එම වරප්‍රසාද කප්පාදු කරගෙන යන බව පෙනෙන්නට තිබේ.


ජායාරුපය : මෙතනින්

2008 වසරේ ජුලි 9 දින සිට තිරු බදු සහන දිමනාව (Duty free allowance) යටතේ අගල් 32ට වැඩි LCD රුපවාහිනි, ස්වයංක්‍රිය රෙදි සොදන යන්ත්‍ර වැනි භාණ්ඩ වර්ග 7ක් ගෙන එමට නොහැකි වන ලෙස නියමයක් පනවන ලදි.

මෙරටට ලක්ශ 20කට වඩා එවා ඇති  විදේශ සේවා නියුක්තිකයන්ට වසර 10ක් දක්වා පැරණි වාහන සිය සමිපතමයෙකුට තැගි කිරිමට හැකි වන ලෙස ලබාදි තිබු තැගි බලපත්‍ර (Gift permit) වරප්‍රසාදය රජය විසින් පසුගිය වසරේ අග භාගයේදි නතර කරන ලදි.එය මැතකදි සිදුවු ප්‍රභලම කප්පාදුවකි.

  විදේශ සේවා නියුක්තිකයන්ට ලබාගැනිම අනිවාර්යවු ජාතික රක්ශණ භාර අරමුදලේ රක්ෂණාවරණය ලබාදිම පසුගිය 20 සිට(අප්‍රේල් 20)  දින සිට නතරවි ඇත.එය ඉදිරියේදි නැවත අරඹන බව අදාල ආයතනයන් සදහන් කර තිබුනු බව මාධ්‍යන්ගේ පලවිය.

මේ අතර රජය විසින් මහින්ද චින්තනයේ එක් පොරොන්දුවක් වු විදේශ සේවා නියුක්තිකයන්ට විශ්‍රාම වැටුප ක්‍රමයක්  ලබාදිමේ අරමුණින් 2011 මාර්තු 28 දින  පනතක් සම්මත කර "විදේශ සේවා නියුක්තිකයන්ගේ විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ අරමුදල" නමින් අරමුදලක් බිහිකරන ලදි. එයට මෙන්ම එයට සමගාමිට කරලියට ආ පෞද්ගලිම විශ්‍රාම වැටුප් ක්‍රමයද,  නැගුණු මහජන විරොධය හමුවේ හමස් පෙට්ටියට ගොස් ඇති බවට පෙනෙන්නට තිබේ.

මහින්ද  චින්තනයේ තවත් එක් පොරොන්දුවක් වුයේ තිරු බදු සහන දිමනාව ඇමරිකානු ඩොලර් 1750 සිය 5000 දක්වා වැඩි කිරිමයි. 2007 වසරේ මුලභාගයේදි රජය විසින් එම පොරොන්දුව ඉශ්ඨ කිරිමට යන බවට මාධ්‍ය වාර්ථා පලවිය, නමුත්  අද වන තෙක් එය ඉටුවි නොමැත.

එහෙත්  2006 වසරේ අයවැයෙන්, මෙරටට පෙරලා පැමිණෙන විදෙස්ගත සේවා නියුක්තිකයන්ට සුලු ව්‍යාපාර ඇරඹිම දිරිදෙනු වස්, ඇමරිකානු ඩොලර් 5000ක,ගමන් මල්ලට පරිබාහර තිරු බදු සහන දිමනාවක් (Duty free allowance- Non baggage) ලබා දිම අගය කලයුතුය.


මේසා විදේශ විනිමයක් ගෙන එන ඔවුනට රජයෙන් නිසි සැලකිල්ලක් හිමි නොවිම කණගාටුවට කරුණකි.
මෙයින් පැහැදිලි වන්නේ රටට වැඩිම විදේශ විනිමයක් උපායා දෙන  විදෙස්ගත සේවා නියුක්තිකයන්ට රජයෙන් දක්වනේ කුඩම්මාගේ සැලකිල්ලක් බවයි.

 රජය මගින් ඔවුන් වෙනුවෙන් යම්යම් වරප්‍රසාද/සුභසාධන වැඩ ක්‍රියාත්මක කලද ඒවා තවත් පුලුල් කල යුතුය. අවම වශයෙන් මහින්ද චින්තනයේ සදහන් පොරොන්දුවක් වන    තිරු බදු සහන දිමනාව ඇමරිකානු ඩොලර් 1750 සිය 5000 දක්වා වැඩි කිරිම ඉශ්ඨ කර, දැනට නතර කර ඇති තැගි බලපත්‍ර (Gift permit) නැවත ක්‍රියාතමක කරන්නේ නම් එය කාලෝචිත බව සිතමි.

(2012 මැයි 27 - ඉරිදා ලංකාදිප)